අර්බුදය: අනපේක්ෂිත දෙවැනි වරයක් වශයෙන්?

තිසරණී ගුණසේකර

සුදෝසුදුවට දිදුළන නාවුක නිල ඇඳුමින් සැරසී, පදක්කම් ලෙළවමින්, මහේශාඛ්‍ය ලීලාවෙන් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට වැඩම කළ ආරක්ෂක මණ්ඩල ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න දණ්ඩමුක්තිය මේ යැයි මූර්තිමත් කෙළේය. ඔහු, අධිකරණ වරෙන්තු තුනක් මගහැර සිටි පුද්ගලයෙකි. අධිකරණයටත්, පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් එළිපිට අපහාස කරමින් සිටි පුද්ගලයෙකි. මේ පුද්ගලයාව ශ‍්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා විසින්ම ආරක්ෂා කරමින් සිටි තත්වයක් තුළ, ත‍්‍රිවිධ හමුදාවේ දැනට සේවයේ සිටින උසස්ම බලධාරියා වශයෙන් තමාගේ තෙද බලයේ මහිමයෙන් තමා නීතියට ඉහළින් සිටින්නෙකැ යි ඔහු සිතා සිටියේය.

පැය කිහිපයක් ඇතුළත ඒ සියල්ල වෙනස් වන්නට නියමිතව තිබුණි.

අධිකරණ ශාලාව තුළ මේ අද්මිරාල්වරයාට ප‍්‍රජාතන්ත‍්‍රවාදය මුණගැසුණි. ඒ, පදක්කම් සහ තාන්නමාන්නවලට ඒ අධිකරණ ශාලාව අන්ධ වූ බැවිනි. යුක්ති ධර්මය පමණක්ම එහි රජ කළ බැවිනි.

ඒ මුණගැසීමෙන් අවදි වන විට ඔහුගේ දෑතට මාංචු වැටී තිබුණි. දණ්ඩමුක්තියේ සළුපිළි වැරහැලි වී තිබුණි.

ඒ දර්ශනය, ඉතා පහසුවෙන්, වෙනත් ආකාරයකින් අවසන් වීමටත් ඉඩ තිබුණි. මේ අද්මිරාල්වරයා, යුක්තිය පාගා පොඩි කරගෙන නිදහස් මිනිසෙකු වශයෙන් මහෝත්තම ලීලාවෙන් එම අධිකරණ ශාලාවෙන් පිටව යාමටත් ඉඩ තිබුණි.

එහෙත්, යුක්ති විනිශ්චය තේජාන්විතව නැගී සිටියේය. එය, 2015 යළි ස්ථාපිත කළ අධිකරණයේ ස්වාධීනත්වයේ එක් අතුරු ඵලයකි.

නිර්භීත සහ ප‍්‍රතිපත්ති ගරුක විනිසුරුවරු ලංකාවේ කවදත් සිටියහ. යුක්ති ධර්මය කේඩෑරි වුණේ, දණ්ඩමුක්තියේ සෙවණ යටතේ හෙංචයියන්ට වරදාන දීමටත්, විරුද්ධවාදීන්ට දඬුවම් දීමටත් ඇති අවියක් වශයෙන්, නීතිය දේශපාලඥයන්ගේ අතේ කෙළි බඩුවක් වූ අවස්ථාවන්හිදී ය.

2012 දී එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ තමා හමුවට එන්නැයි අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයන්ට දන්වා යැවීය. තමන් නියෝජනය කරන්නේ ස්වාධීන කොමිසමක් බව හොඳින් දැන සිටි එහි සාමාජිකයෝ, ජනාධිපතිවරයාගේ නියෝගයට අවනත වීම ප‍්‍රතික්ෂේප කළෝය. ගතවුණේ දින කිහිපයකි. අධිකරණ සේවා කොමිසමේ එවක ලේකම් සහ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න, දෙනෝ දාහක් ගැවසෙන කොළඹට තදාසන්න පෙදෙසකදී, පිස්තෝල අතින් ගත් මැර කල්ලියක රුදුරු ප‍්‍රහාරයට ලක්විය. කිසිවෙකු අත්අඩංගුවට නොගැනුණි. කිසිවෙකුට දඬුවම් නොකෙරුණි.

අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය පැවැත්වීම සඳහා, ජනාධිපති අයියා වන කතානායක චමල් රාජපක්ෂ විසින් පත්කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විධිමත්ව සංස්ථාපනය වී නැති බවට 2013 ජනවාරි මාසයේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කෙළේය. ඒ හේතුව නිසා, අගවිනිසුරුවරියට පරීක්ෂණයක් පැවැත්වීමේ බලය ඊට නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේය.

ඉන් දින හයකට පසු, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් පැමිණි අවසාන විනිශ්චය, අභියාචනාධිකරණය නිෂ්ප‍්‍රභ කෙළේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකුට මරණ තර්ජන එල්ල විය. කෙසේ වෙතත්, ජනාධිපති රාජපක්ෂ සහ කතානායක රාජපක්ෂ අර කී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත්, අභියාචනාධිකරණ තීන්දුවත් පයිසෙකට ගණන් ගත්තේ නැත. අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායක එම ධුරයෙන් පහ කෙරුණි. ඒ වෙනුවට, පාලක පවුලේ නීති හෙංචයියෙකු වශයෙන් නම් දරා සිටි, ප‍්‍රගීත් එක්නැලිගොඩගේ ඉරණම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සමුළුවකදී බොරු කියා අතටම හසු වූ පුද්ගලයෙකු එම තනතුරට පත්කෙරුණි.

අධිකරණයේ ස්වාධීනත්වය පවත්වා ගැනීමේදී, රටක පවතින දේශපාලනික වටපිටාව තීරණාත්මක බලපෑමක් ඇති කරයි. අධිකරණයට ඇඟිලි ගැසීමට විධායකයට අවශ්‍ය වීමට ඉඩ තිබේ. එහෙත්, ඔහුට හෝ ඇයට ඒ මගේ යාමට ඉඩ සැලසෙන දුර ප‍්‍රමාණය කොපමණ ද? රාජපක්ෂලා ඒ මුළු දුරම ගියෝය. කිසිවකට හෝ කිසිවෙකුට ඔවුන්ව නතර කළ නොහැකි විය.

ශිරානී බණ්ඩාරනායකට එරෙහිව ගෙනා දෝෂාභියෝගය වනාහී, රාජපක්ෂලාගේ බලය ප‍්‍රායෝගික තලයේ ක‍්‍රියාත්මක වුණේ කෙසේද යන්න දැන ගත හැකි අගනා හෝඩි පොතකි. ඒ පිළිබඳ කුඩා කටු සටහනක් මෙසේ ය:

2012 ඔක්තෝබර් 31- ‘දිවි නැගුම පනත’ සංශෝධන රහිතව අනුමත කිරීම ප‍්‍රතිකේෂ්ප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය කතානායක චමල් රාජපක්ෂට භාර දුන්නේය.

2012 නොවැම්බර් 1- එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරුන් 117 දෙනෙකුගේ අත්සන යටතේ, අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග යෝජනාවක් කතානායක චමල් රාජපක්ෂට භාර දුනි.

2012 නොවැම්බර් 15- කතානායක චමල් රාජපක්ෂ, අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායකට එරෙහි චෝදනා විභාග කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කෙළේය. එහිදී තමාගේ පැත්තෙන් ඒ පරීක්ෂණයට සූදානම් වීම සඳහා සති පහක කාලයක් අගවිනිසුරුවරිය ඉල්ලා සිටියත් එය ප‍්‍රතික්ෂේප විය.

2012 නොවැම්බර් 23- තේරීම් කාරක සභාව සිය පරීක්ෂණය පටන් ගත්තේය. පාර්ලිමේන්තුවේ නිවාඩු කාලය තුළ මේ පරීක්ෂණයට විරාමයක් ලබා දෙන ලෙස විපක්ෂය කළ ඉල්ලීමත් ප‍්‍රතික්ෂේප විය.

2012 දෙසැම්බර් 7- පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පත්කොට සිටි විපක්ෂයේ සාමාජිකයන් හතර දෙනාගේ සහභාගීත්වයෙන් තොරව මේ පරීක්ෂණය නිමාවට පත්විය.

2012 දෙසැම්බර් 8- දොෂාභියෝගයේ වාර්තාව, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් කතානායක චමල් රාජපක්ෂට භාර දුන්නේය.

2013 ජනවාරි 1- තේරීම් කාරක සභාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප‍්‍රකාශයට පත්කෙළේය.

2013 ජනවාරි 7- තේරීම් කාරක සභාවේ තීරණය අභියාචනාධිකරණය නිෂ්ප‍්‍රභා කෙළේය.

2013 ජනවාරි 10/11- දෝෂාභියෝග විවාදය ආරම්භ කරන පාර්ලිමේන්තුව බහුතරයකින් එය අනුමත කෙළේය.

2013 ජනවාරි 13- අගවිනිසුරුවරිය ධුරයෙන් පහ කෙරුණි.

රාජපක්ෂලා අධිකරණයේ මතයට කන්දුන්නේ එලෙස ය.

මෛත‍්‍රීපාල සිරිසේන එතරම් දුර තවම ගොස් නැත. ඔහු එසේ නොගොස් ඇත්තේ, අද තිබෙන්නේ 2012 දී හෝ 2013 දී තිබූ එදා ලංකාව නොවන බැවිනි. එහෙත් ඒ පරණ නපුරු යුගයට යළිත් අප පල්ලම් බසින්නට බැරි නැත. ඒ, ජනාධිපති රජෙකු වුණොත් ය. ඔහුගේ වචනය, නීතිය බවට පත්වුණොත් ය. එවැන්නක් මෙතෙක් සිදුව නැත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඝාතනය කෙරෙන්නේ කෙසේද යත්

මෛත‍්‍රීපාල සිරිසේනට තවත් ජනාධිපති ධුර කාලයක් අවශ්‍ය කරයි. ඔහු ව්‍යවස්ථා-විරෝධී කුමන්ත‍්‍රණයක් මුදා හැරියේ, බලය සඳහා වන අසීමිත කෑදරකම විසින් ඔහුගේ මොළය අවුල් කළ බැවිනි. ඒ, මේ අර්බුදයට බලපෑ මනෝමූලික සාධකයයි. විෂයමූලික තලයක, ඔහුගේ ක‍්‍රියාවන් වනාහී, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාට නැති වී ගිය බලය යළි ඉල්ලා සිටීමේ ප‍්‍රයත්නයකි. එය සාර්ථක වුවහොත්, ජනාධිපති ධුරය නැවතත් සර්ව බලධාරී වනු ඇත. රාජකීය ජනාධිපතිවරයෙකුගේ අතේ නැටවෙන රූකඩයක් බවට ව්‍යවස්ථාදායකයත්, අධිකරණයත් පත්වෙනු ඇත.

අද්මිරාල් රවීන්ද්‍ර විජේරත්නගේ කෙරුවාව, ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකරණයේ වෙනත් අංශවල බලය තමා අතට ගැනීමට ගෙන යන සංග‍්‍රාමයේ එක් ක්ෂුද්‍ර නිරූපණයකි. කෙසේ වෙතත්, අද්මිරාල්වරයාගේ කෙරුවාව අවසන් වූ ආකාරයෙන් පෙන්නුම් කරන්නේ, ජනාධිපතිගේ බල කොල්ලය ආපසු හැරවීමේ අවකාශයක් ඇති බව ය. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර යම් මට්ටමක සමබරතාවක් යළි ස්ථාපිත කර ගැනීමේ ඉඩකඩක් ඇති බව ය.

ඡුන්දයෙන් බලයට පත් ස්වාධිපතියන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රම විනාශ කරන්නේ කෙසේද යන්න, ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයන් මියැදෙන්නේ කෙසේද?’’ යන කෘතිය මගින්, හාවර්ඞ් විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් වන ස්ටිවන් ලෙවිට්ස්කි සහ ඩැනියල් සිබ්ලාට්ස් පෙන්වා දෙති. දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල පවා, ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී වාචාල ජනනායකයන් බලය ඩැහැගැනීමේ ඉද්දරට පැමිණෙන බව එහිදී දැක ගැනීමට ලැබේ. එම අභියෝගය ඉදිරියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට නොනැසී පැවතිය හැක්කේ ද යන්න විනිශ්චය කෙරෙන පරීක්ෂාව දෙයාකාර ය. අධිකාරීවාදීන් වීමට ඉඩ ඇති පාලකයන් බලයෙන් ඉවත් කොට තබා ගත හැක්කේද යන්න එක් පරීක්ෂාවකි. අනෙක වන්නේ, බලයට පත් ස්වාධිපති නායකයන් ප‍්‍රජාතන්ත‍්‍රීය ආයතන උඩු යටිකුරු කිරීමට සමත් වේ ද, එසේ නැතහොත් ඔවුන්ව මැඩලීමට තරම් ප‍්‍රජාතන්ත‍්‍රීය ආයතන සමත් වේ ද යන්නයි.

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මේ මොහොතේ වින කටිමින් සිටින්නේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු වශයෙන් බලයට පත්කර ගත් සහ යම් කාලයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු වශයෙන් කටයුතු කළ පුද්ගලයෙකි. දැන් ප‍්‍රශ්නය වන්නේ, මේ පුද්ගලයා විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගෙල සිරකොට ඝාතනය කර දමනු ලැබීම, ව්‍යවස්ථාදායකයට, අධිකරණයට සහ සමස්ත සමාජයට වළකාලිය හැක්කේ ද යන්නයි.

එසේ කළ හැකි බවට තවම බලාපොරොත්තු තබා ගත හැකිය. පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා හදිසියේ මාරු කර හැරීම ආපස්සට හරවා ගැනීමට හැකි වීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහිව නැගෙන තර්ජනයන් මැඩලිය හැකි බවට සාක්ෂියකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා හිටිහැටියේ මාරු කළ අවස්ථාවේ, ඊට එරෙහිව නැගී සිටිය හැකි විරෝධය, ව්‍යාජ ආණ්ඩුව තක්සේරු කොට නොතිබුණි. එහිදී ඔවුන්ට හොඳටම වැරදුණි. මාධ්‍යවලින් සහ සමාජයෙන් ඊට එරෙහිව නැගුණු විරෝධය අති විශාල ය. (ලසන්ත වික‍්‍රමතුංගගේ දියණිය අහිම්සාගේ විරෝධය එහිදී කැපී පෙනුණි). මේ අතර, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඇති කොට තිබූ එක් වැදගත් ප‍්‍රජාතන්ත‍්‍රීය ව්‍යුහාත්මක වෙනසක් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සිය භාවිතයට ගත්තේය. එනම්, ස්වාධීන කොමිෂන් සභා යාන්ත‍්‍රණයයි. ඒ අනුව ඔහු පොලිස් කොමිසමට පැමිණිලි කෙළේය. මාරුව පිළිබඳ විරෝධය දක්වමින් පොලිස් කොමිසම පොලිස්පතිවරයාට ලීවේය. ඊට ඉහළින්ම ප‍්‍රතිචාර දැක්වූ පොලිස්පතිවරයා එම මාරුව වහා අවලංගු කෙළේය.

බල අපයෝජනය, පරම දණ්ඩමුක්තිය (දඬුවම් නොවිඳ වැරදි කිරීමට ඇති හැකියාව) සහ ඉහවහ ගිය උඬගුව, ඕනෑම ජනාධිපති ක‍්‍රමයක නිසඟ ලකුණකි. මන්ද යත්, ජනාධිපති ක‍්‍රමයක ස්වභාවයම, පරම රාජත්ව මාදිලියක් වන බැවිනි. රජවරු සිය බලයේ අහලක ඉණි වැටක් වුව තිබීම නුරුස්සති. ඔවුහූ තම අභිමතයට ඉඩ ලැබෙන තාක් දැහැමි ගතියක් පෙන්වති. ප‍්‍රථම බාධකයේදීම ඒ පුරුද්ද ඔවුන්ගෙන් අතහැරේ. පරම රාජත්වයක විද්‍යමාන මතකයක් ඇති ලංකාව වැනි රටක විධායක ජනාධිපති ක‍්‍රමයක් ඇටවූ විට, ජනාධිපතිවරයාට/වරියට සර්ව බලධාරී රාජත්වයක හැඟීමක් ආරෝපණය වීමේ බරපතල තර්ජනය කවදත් තිබේ.

බලය යනු මහා දූෂකයා ය. එය අත්පත්ව තිබීම හෝ අත්පත් කර ගැනීමට ආශා කිරීම, වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ප‍්‍රතිපත්ති ගරුක පුද්ගලයෙකු වුව, ඔහුගේ/ඇගේ පෙර පැවැත්මෙන් විලෝපනය කිරීමට සමත් වෙයි. එවැන්නක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ඇපකැප වීමෙන් ශුද්ධවන්ත භාවයට පත් අවුන් සාන් සූ කී වැනි නායිකාවක් පවා කණපිට පෙරලූවේය. ඇය වැන්නියකටත් එසේ විය හැකි නම්, මෛත‍්‍රීපාල සිරිසේන හෝ රනිල් වික‍්‍රමසිංහ හෝ සජිත් පේ‍්‍රමදාස වැන්නන් ගැන කුමන කතා ද?

‘‘දරුවෙකු ඇතිදැඩි කිරීමට ගමක්ම අවශ්‍ය කෙරේ’’ යන්න, අප‍්‍රිකානු ඉග්බෝ සහ යොරුබා කියමනකි. ඒ ආකාරයෙන්ම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනගා ආරක්ෂා කර ගැනීමට පුරවැසියන්ගෙන් පිරුණු මුළු රටක්ම අවශ්‍ය කරන්නේය. අපට නීතිරීති සහ රෙගුලාසි අවශ්‍ය කරන්නේ එබැවිනි. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර බලය තුලනය කොට පවත්වා ගැනීමක් අවශ්‍ය කරන්නේ එබැවිනි. බලය බෙදාහදා ගැනීමක් අවශ්‍ය කරන්නේ එබැවිනි. ස්වාධීන අධිකරණයක් අවශ්‍ය කරන්නේ එබැවිනි. දේශපාලනීකරණය නොවූ හමුදාවක් අවශ්‍ය කරන්නේ එබැවිනි. ඒ සියල්ලටමත් වඩා, අයුතු බලය ඉදිරියේ හිස නොනමන පුරවැසි සමාජයක් අවශ්‍ය කරන්නේ එබැවිනි.

අපේක්ෂා භංග සහ අපේක්ෂා භරිත කාල පරිච්ෙඡ්ද

රෝමයේ කලිගුලා අධිරාජයා බලයට පත්ව සෙනේට් සභාව අමතා කළ ප‍්‍රථම කතාවේදී, තමන්ට කලින් සිටි රජවරුන්ගේ ජනහිතකාමී නොවන ක‍්‍රියාකාරකම් හෙලාදුටු බව කියැවේ. ඒ අනුව, ඔහුගේ එම කතාව වාර්ෂිකව ස්මරණය කළ යුතුව ඇති බවට සෙනේට් සභාව තීරණය කර ගත්තේය. එය, ‘අලූත් පාලකයාගේ ව්‍යක්ත භාවයට ගරු කිරීමක් වූ’ බව සඳහන් කරන මේරි බියර්ඞ්, ‘සත්තකින්ම එය, ඔහුගේ යහපත් හැසිරීම පිළිබඳ ප‍්‍රතිඥාවට ඔහුව ගැට ගසා තබා ගැනීමේ ආයාසයක්’ වූ බවත් සඳහන් කරයි. එහෙත් අනතුරුව ඉතිහාසයේ කරුණු දිග හැරුණු ආකාරය දෙස බලන විට, සෙනේට් සභාවේ ඒ ප‍්‍රයත්නය ව්‍යර්ථ විය.

රජවරු තමන් දුන් සාධනීය ප‍්‍රතිඥාවන්ට පිටුපාන්නේ මතකය අමතක වීමකින් නොව, රාජකීයත්වයේ ඇතැයි සිතන සර්වතෝභද්‍ර භාවයක් පිළිබඳ විශ්වාසයක් නිසාවෙනි. ‘රජවරුන් අතින් වැරදි සිදු විය නොහැකිය’ යන්න, රාජකීය පරමෝත්තමවාදී ඇදහිල්ලේ එක් අංගයකි. රජතුමා කරන කියන ඕනෑම දෙයක් නිවැරදි ය. එය, ඔහු ඊයේ කී දෙයට හෝ කළ දෙයට පටහැනි වෙතත්, ඔහු නිවැරදි ය. එවැනි සරදම්කාරී ඛේදවාචකයක්, විධායක ජනාධිපතිවරයෙකු රජ කෙනෙකුට ඇන්ද විටත් ඇති විය හැකිය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසු ජනාධිපතිවරයෙකුට හිතුමතේට පාර්ලිමේන්තුවක් විසුරුවා හැරිය නොහැකි බව, මෛත‍්‍රීපාල සිරිසේනත්, මහින්ද රාජපක්ෂත් හොඳින් දැන සිටි බවට වාර්තාගත සාක්ෂි ඕනෑ තරම් තිබේ. ‘හින්දු’ පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡුාවකදී මේ වෙනස උත්කර්ෂයට නංවමින් මෛත‍්‍රීපාල සිරිසේන කළ ප‍්‍රකාශයක් මෙසේ ය: ‘‘මුලින්ම මං 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට දාලා සම්මත කර ගත්තා. ඊට කලින්, අවුරුද්දකට පස්සේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජනාධිපතිවරයාට පුළුවන්. ඒත් දැන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඒ කාලය අපි අවුරුදු හතර හමාරක් දක්වා දීර්ඝ කරලා තියෙනවා.’’

2018 පෙබරවාරි මාසයේ පැවති පළාත් පාලන ඡුන්ද ජයග‍්‍රහණයෙන් පසු, බීබීසී ගුවන් විදුලි සේවයට දුන් සම්මුඛ සාකච්ඡුාවකදී මහින්ද රාජපක්ෂ ඒ වෙනස ගැන තම කණස්සල්ල පළ කර ඇත්තේ මෙසේ ය: ‘‘අපි මහ මැතිවරණයක් ඉල්ලනවා. ඒත් ව්‍යවස්ථාවේ පොඩි ප‍්‍රශ්නයක් තියෙනවා. ජනාධිපතිට දැන් ඒක කරන්න බැහැ. මොකද, අවුරුදු හතර හමාරක් යනකල් ජනාධිපතිට ඒක කරන්න බැහැ කියලා වගන්තියක් ව්‍යවස්ථාවේ තියෙනවා. ආණ්ඩුව එකට එකතු වෙලා ඉල්ලූවොත් ඒක කර ගන්න පුළුවන්.’’

ඒ අනුව, මේ නායකයන් දෙන්නාම අද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්නේ, තමන් කරන අපරාධය ගැන හොඳින් දැනුවත්ව ය.

ලැජ්ජාව නැති, යුක්තිය පිළිබඳ තැකීමක් නැති නායකයන් පහළම අඩියට ඇද වැටෙන්ට පුළුවන. මන්ද යත්, තමන් කැමති ඕනෑම දෙයක් තමන්ට කළ හැකි බවට ඔවුන් විශ්වාස කරන බැවිනි. මෛත‍්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ යනු එවැනි නායකයන් දෙන්නෙකි. 2020 න් පසු බලයට පත්වන තැනැත්තාත්, ඔහු කවුරු වෙතත්, එසේම විය හැකිය. සංග‍්‍රාමය ඇත්තේ පුද්ගලයන් සම්බන්ධයෙන් නොව. එය ශ‍්‍රී ලංකාවේ ආත්මය සහ ජීවය පිළිබඳ සංග‍්‍රාමයකි. නමින් හැරුණු කොට අනිත් හැම අංශයකින්ම රජෙකු වන ජනාධිපතිවරයෙකු සිටින රටක් අපට අවශ්‍ය ද? නැතහොත්, කිසිවෙකුට පරම බලයක් හිමි නොවන රටක් ද අපට අවශ්‍ය කරන්නේ? අසරණයන්ගේ අවසාන රක්ෂාස්ථානයක සිට, බලවතුන්ගේ ප‍්‍රථම අවියක් බවට අධිකරණය පත්කර ගැනීමේ ඉඩක්, විධායකයටවත්, ව්‍යවස්ථාදායකයටවත් නොතිබිය යුතුයි නේද? අපට අවශ්‍ය කරන්නේ, උමතුවෙන් යකා නටන බලයක් ද, නැත්නම් සීමාවක් ඇතිව පමණක් පැවතිය හැකි සිහිබුද්ධියක් ද?

සිරිසේන මහතා ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට තර්ජනයකි. එහෙත් ප‍්‍රධාන අවදානම ඔහු නොවේ. ඔහු දේශපාලනිකව දුර්වල ය. මිතුරන් හිඟ ය. අද්මිරාල්වරයාව ආරක්ෂා කර ගැනීමට ඔහු අසමත් වීම නිසා, ව්‍යවස්ථා-විරෝධී නියෝග පිළිපැදීම ගැන වෙනත් රාජ්‍ය නිලධාරීන් දෙවරක් සිතනු ඇත. මහින්ද රාජපක්ෂ සමග ඔහුගේ ඇති සාංගමත් ඉතා දුර්වල ය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළෙන්මත් ඔහුට විරුද්ධ කැරැුල්ලක් මෝදු වෙමින් තිබේ. ඔහු සතුව ඇති තුරුම්පු, පැයක් පාසා අවසන් වෙමින් තිබේ.

රාජපක්ෂ මහතා ඊට වෙනස් ය. ඔහුට පවුලක් සිටී. ඔහු පස්සෙන් පක්ෂයක් තිබේ. ස්ථිර ඡුන්ද පදනමක් තිබේ. එසේම, චීනය වැනි වැදගත් විදේශ බලවතෙකු ද ඔහුගේ සහායට සිටී. චීනය සමග කොළඹ වරාය වැඩි දියුණු කිරීම සඳහා කඩිමුඩියේ ගනුදෙනු දෙකක් මේ කෙටි කාලය තුළ ඔහු තීන්දු කර ගැනීම, ඒ උපාය මාර්ගික සන්ධානයේ තරම පෙන්වයි. මාලදිවයින දැන් චීනයට අහිමිව ගොස් ඇති තත්වයක් තුළ, ශ‍්‍රී ලංකාව තමන්ගේ පූර්ණ පරායත්ත රාජ්‍යයක් බවට පත්කර ගැනීම කෙරෙහි චීනය වැඩි වැදගත් කමක් දෙනු ඇත. (එක්සත් ජාතික පක්ෂය යටතේ කර ගත හැක්කේ, ලංකාව අර්ධ-පරායත්ත රාජ්‍යයක් බවට පත්කර ගැනීම පමණි). නැගී එන චීන අධිපතියාගේ නාථකත්වය භාර ගැනීමට හුවමාරුවක් වශයෙන් එවිට රාජපක්ෂගේ පෙට්ටගමට මුදල්හදල් ගලාගෙන එනු ඇත.

සිරිසේන මෙන් නොව, අධිකරණයෙන් ලැබෙන තීන්දුවකට තමන් අවනත වන බව රාජපක්ෂ තවම ප‍්‍රකාශ කොට නැත. ඔහුට අවශ්‍ය කරන්නේ වහා කැඳවන මහ මැතිවරණයකි. ඒ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමට නොව, එය ඉවරයක් කිරීමට ය. (තමන්ගේ පාලනය යටතේ) වහා පැවැත්වෙන මැතිවරණයකින් තමන්ට තුනෙන් දෙකක ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකි වෙතැයි ඔහු සිතයි. එවිට ඔහුට ව්‍යවස්ථාව සංශෝධනය කළ හැක. 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව, නැවතත් මෙරටේ රජු විය හැක.

ඒ සිහින මෛත‍්‍රිපාල සිරිසේන විසින් තර්ජනයට ලක්කරනු ලැබුවොත් ඔහු කුමක් කරාවි ද?

දැනටමත් ජාතිවාදය ඇවිළවීමේ ප‍්‍රයත්නයන් දියත් වෙයි. රටේ ව්‍යවස්ථාව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරක්ෂාව වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය සපයන වටිනා දායකත්වය, ජාතික තර්ජනයක් වශයෙන් අර්ථ ගැන්වීමේ වෑයමක් දියත් වෙයි. එවැනිම සැලකීමක් මුස්ලිම් පක්ෂවලටත් ළඟදීම ලැබෙනු ඇත. ඉදිරි සති කිහිපය තුළ, මෛත‍්‍රිපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතන සැලසුම් පිළිබඳ තව තවත් බයිලා ප‍්‍රසංග අපට අසන්නට ලැබෙනු ඇත. එසේම, උතුරු නැගෙනහිර පෙදෙස්වල හදිසි ප‍්‍රචණ්ඩකාරී තත්වයන් ද උද්ගත විය හැකිය. සුළු ජාතික භීතිකාව අවුස්සමින් සිංහල බෞද්ධයන් තුළ අනියත බිය ජනිත කරමින්, රාජපක්ෂලාගේ අනාදිමත් සටන් පාඨය වන ‘මාතෘ භූමිය අනතුරේ’ යළි වාදනය වන්නට නියමිත ය. එයින් රට ගලවා ගත හැකි වනු ඇත්තේ මහින්දට සහ ගෝඨාට පමණකැ යි ඔවුන් කියනු ඇත.

2018 දෙසැම්බර් 2 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Crisis as Second Chance? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා